Wednesday, January 27, 2016

බෙන්තොට කොට්ඨාශයේ වැසිකිළි පහසුකම් නැති නිවාස අවම කරමු.


    
ඉහත සේයාරුව දකින විටම ඔබට පිළිකුලක්,අප්‍රසන්නතාවක් ඇතිවනු නිසැකය.සමහර විට මෙය නරඹන ඔබ ආහාර ගනිමින් සිටින අවස්ථාවක් වුවහොත් පිළිකුල සමඟ කෝපයක්ද ඇතිවනු ඇත.රාජ්‍ය ලාංඡනය සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක “සංවර්ධන නිලධාරීන්“ සඳහා වෙන්වූ අඩවියක මෙවැනි අසික්කිත පින්තූර පල කිරීම පිළිබඳව දොස් පවරනු ඇත.එතැනින් නොනැවතී අඩවිය බ්ලොක් කිරීමට ,රිපෝට් කිරීමට උත්සාහ කරනු නිසැකය.

     ඉහත සේයාරුවෙන් දැක්වෙන්නේ ඉන්දියාව,බංගලිදේශය හා අප්‍රිකානු රටවල් කීපයක වැසිකිළි පහසුකම් නැති දුගී ජනතාව එකී අවශ්‍යතාව සපුරාගන්නා ආකාරයයි.අන්තර්ජාල පිරික්සුමෙන් ලබා ගත් මෙම ඡායාරූප අතර ලංකාවේ දර්ශන නැතත් වර්තමානය වනවිටත් ලංකාවේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල වැසිකිළි පහසුකම් නැති නිවාස විශාල ප්‍රමාණයක් ඇත.වෙරළබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියේ ගමන් කරන විට පයාගල,කළුතර,පානදුර,මොරටුව ආදී ප්‍රදේශවලදී මුහුදු වෙරලේ පෝලිමට වාඩිවී මිනිසුන් ගැහැනුන් මලපහ කරනා අයුරු අදටත් දැකිය හැකි දර්ශනයකි.
   බෙන්තොට කොට්ඨාශයේ වැසිකිළි පහසුකම් නැති නිවාස විශාල ප්‍රමාණයක් නැතත් මහවිල,මොරගොඩ,කහගල්ල,හිපන්වත්ත,.... ආදී දිළිඳු ගම්මානවල මෙම ගැටළුව අනිත් ගම්මාන වලට වඩා වැඩි වශයෙන් දක්නට ඇත.වැසිකිලි පහසුකම් නැතිවීමට වඩා ප්‍රධානවූ වෙනත් මූලික ගැටළු බෙන්තොට කොට්ඨාශය තුල වීමත් සංචාරක පුරවරයක් ලෙස මුළු ලෝකයේම සුප්‍රසිද්ධ වීමත් නිසාත් වැසිකිළි ගැටළුව පිළිබඳව වැඩි සඳහනක් දක්නට නැත්තේ එය අප විසින් අපවම හෑල්ලු කර ගැනීමක් වැනි නිසාය.අනික් කාරණය නම් ලංකාවේ වෙනත් කොට්ඨාශ සමඟ සසඳන විට බෙන්තර ජන ජීවිතය අධි සුඛෝපභෝගී තත්ත්වයට වැඩි බරක් ඇත.
      කෙසේ වුවත් කැබිනට් ඇමතිවරයකු,ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති තනතුරු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා මන්ත්‍රීවරියක මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු සමඟ ප්‍රාදේශීය දේශපාලන නියොජිතයන් දහ දොලොස් දෙනෙකු සිටින බෙන්තොට කොට්ඨාශයේ වැසිකිළි පහසුකම් නොමැති නිවාස සංඛ්‍යාව ශුන්‍යය කිරීම ඉතා පහසු කාර්යයකි.අවශ්‍ය වන්නේ මේ සඳහා දේශපාලන නියෝජිතයන්ගේ සුළු අවධානයක් පමණකි.  

ප.ලි.  බෙන්තොට කොට්ඨාශයේ වැසිකිළි පහසුකම් නොමැති නිවාස කිහිපයක ඡායාරූප ඉදිරි ලිපියකින් ..