Friday, February 12, 2016

අහුවෙන්න එපා ! පිරමීඩ ජාවාරම නැවතත් රට පුරා....

  මේ දිනවල රටපුරාම වසංගතයක් මෙන් ව්‍යාප්තවී අැති  පිරමීඩ ජාවාරම පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ නැවත වැඩිපුර කතාබහ වෙමින් ඇති අතර තත්ත්වය කෙතරම් දුරට උත්සන්න වි ඇත්ද කිවහොත් පසුගිය දින කීපය තුලදී රහස් පොලිස් අවධානය යොමු වන තරමටම මෙම පිරමීඩ ජාවාරම වැඩි දියුණු වි ඇත.
   පෙර අවස්ථාවලදී මුදල් භාවිතය නිසා තම ව්‍යාපාරයට නීතිමය ගැටළු ඉස්මතුවූ බව වටහා ගත් ලෝක පිරමිඩ කරුවන් මෙවර ඉතාමත් කූට අයුරින් නීතියේ රැහැන් අතරින් රිංගා තම ව්‍යාපාර දිගු කාලයක් සිදු කිරීමට  මුදල් වෙනුවට භාණ්ඩ විකිණිම උපයොගී කරගෙන ඇතත් මේ තුලද සැඟවී ඇත්තේ පෙර තිබූ පිරමීඩ ජාවාරමම බව අවධාරණය කල යුතුය.

     පිරමීඩ ක්‍රියාවලිය තුල සිදුවන්නේ කුමක්දැයි වටහා දීම පිණිස ඔබ වෙත පුංචි ක්‍රියාකාරකමක් දක්වන අතර මෙය සිහිතබා ගනිමින් මෙම ලිපියේ ඉදිරි කොටස් කියවන විට පිරමීඩ ජාවාරමේ ගණිත භෞතික සිද්ධාන්තයන් ඔබටත් ඉතා හොදින් වැටහෙනු ඇත.
    කඩදාසි කොලයක්(උදා -හාෆ්ෂීට් කොලයක් වැනි..)අතට ගන්න.එය මැදින් දෙකට නවන්න.ලැබෙන කඩදාසිය නැවතත් දෙකට නවන්න.එය නැවතත් දෙකට නවන්න.මේ ආකාරයට කඩදාසිය පනස් පස් වතාවක් පමණ දෙකට නැමීමට ඔබට හැකිද?කඩදාසිය විශාල එකක්නම් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතුනත් එය වැරදි වැටහීමකි.මෙවැනි ආකාරයට නැවිය හැකි කඩදාසියක් ඔබට කවදාවත් මිහිපිටින් සොයා ගත නොහැකිය.මන්දයත් මෙසේ කිරීමට අවශ්‍ය වන කඩදාසිය අවම වශයෙන් කිලෝ මීටර් විසි දහසක්වත් දිගින් යුක්ත විය යුතු බැවිනි.ඔබට විශ්වාස කිරීමටවත් නොහැකි මෙම ගනනය කිරීම ප්‍රථම වරට සිදුකලේ සෝවියට් ගණිතඥයකු වූ වයි.පෙරල්මාන් විසිනි.පිරමීඩයක ක්‍රියාවද මේ ආකාරවේ.
   වර්තමානයේ රටපුරාම ව්‍යාප්තව ඇති නීති විරෝධී ව්‍යාපාරික ක්‍රමයන් ඒවා සිදුකරන ස්වභාවය සැලකූ විට ඉහතින් දැක්වූ ක්‍රියාවලියට අනුරූප ස්වභාවයක් ගනී.පිරමීඩ ක්‍රමයන් සමාජයට අහිතකර නොමැති අයුරින් සිදු වීමට නම් නොකඩවා ගලායන ගඟක් ආකාරයට පිරමීඩය සපුරා ලීමට අමුද්‍රව්‍ය(මිනිසුන්) පැවතිය යුතුය.ලොව පුරා කූඹින් වැනි කෘමීන් සිටිනා ආකාරයෙන් මිනිසුන් නැති නිසා මෙම පිරමීඩ ක්‍රියාව ප්‍රායෝගිකව සාධාරණ නැත.
         එක,දෙක,හතර,අට,දාසය,තිස්දෙක,හැටහතර,.....ආදී වශයෙන් පහතට විහිදෙන පිරමීඩාකාර ජාලයක සාමාජික සංඛ්‍යාව මුලදී සුළු වේගයකින් වැඩි වුවද පහතට යාමේදී මෙම වැඩිවීම අසිමිත අාකාරයෙන් සිදුවේ.ගණිතය පිළිබඳ වැටහීමක් නැති අයට මෙය එකවර දර්ශනය නොවේ.මෙවැනි පිරමීඩ ව්‍යාපාරයකින් ඉතා සුළු පිරිසකට කඩිනමින් මුදල් උපයා ගැනිමේ රහස මෙන්ම මෙම ව්‍යාපාරයන් කල් ගත වීමේදී අර්බුධකාරී වීමේ රහසද ඇත්තේ මෙතැනය.වේගයෙන් වැඩිවන පිරිස නිසා ඉහල සිටින අයගේ ආදායම(කොමිස්) වේගයෙන් ඉහල යන්නාසේම ඒ සමාන වූ වේගයකින් මේ පිරමීඩයට සම්බන්ධ කර ගත හැකි පිරිසද අඩුවී යයි.
    පිරමීඩයේ ඉහල සිටින්නන් තමන්ගේ ආදායම නොකඩවා පවත්වා ගැනිමට දැඩි උත්සාහයක් ගනි.පිරමීඩය ඇන හිටින විට හෝ බිඳ වැටීමකදී තම ආදායම පහත වැටීම වේගයෙන් සිදුවන නිසා ඔවුන් එය පවත්වා ගැනීමට නොකරන දෙයක් නැත.මුල් අවධියේදී මුදල් භාවිතය නිසා මතුවූ නීති ගැටළු මඟහැරීමට මෙවර අළුත්ම උපක්‍රමයක් යොදා ඇත.සැබෑ වටිනාකම නිසි ලෙස තක්සේරු කල නොහැකි භාණ්ඩ හා සේවාවන් (උදා - සූර්ය පැනල,..)යොදා ගැනීම මෙම අළුත් ක්‍රමයයි.රුපියල් දස දහසක් පමණ වටිනා හෝ නොවටිනා උපකරණයක් රුපියල් හැට දහසකට පමන සාමාජිකයන් අතර විකිනීමට පොළඹවන අතර ජාලයට අළුතින් සම්බන්ධ වූ තැනැත්තා තවත් අළුත් දෙදෙනෙකුට එවැනි වැඩි මිලකට එම භාණ්ඩ අලෙවි කල යුතු අතර මෙලෙස විකිනෙන සෑම භාණ්ඩයකටම කොමිස් මුදලක් ජාලයේ ඊට ඉහලින් සිටින සාමාජිකයන්ට හිමිවේ.සතියකට ලක්ෂ 15 දක්වා ඉපයිය හැකි යැයි පවසන්නේ මෙම කොමිස් මුදල මඟිනි.ජාලයේ ඉහලින්ම සිටින්නන් සැලකූ විට මෙහි ඇත්තක් ඇති නමුත් ජාලයේ පහතින් ජාලයට එකතු වන්නන්ට මෙවැනි ලාභයක් ලැබිය නොහැක්කේ ජනගහන ගැටළුව ඉස්මතුවී ජාලය ඇන හිටින හෝ බිඳ වැටීමට අවධානමක් ඇති ස්ථානයක තමන් සිටීම හේතුවෙනි.
    කල්ගතවීමේදී ජාලයේ සාමාජිකයන් අඩුවන බව දත් පිරමීඩය නිර්මාණය කල එහි ඉහල සිටින්නන් කලින් කලට විවිධ උපකුම යොදා ගනී.පිරමිඩය සැකසී ඇත්තේ මෙන්ම එය නොකඩවා පැවැත්විය යුත්තේ ගල්,ගඩොල් වැලි සිමෙන්ති වලින් නොව විවිධ දුරුවලතා ගැටළු මතිමතාන්දර ආකල්ප වලින් යුත් මිනිසුන්ගෙන් බව දන්නා ඔවුන් මොල සේදීමේ දේශන හරහා ආගම,ධනාත්මක චින්තනය,විනෝදය සපයන ක්‍රම මෙන්ම බොරු බේගල් ඇද බා හෝ තම සාමාජිකයන් වැඩි කර ගැනිමට මාන බලති.
          මොළ සේදීම නොහොත් Brain Wash කිරීම සදහා විවිධ වැඩමුලු පවත්වමින් විශාල මුදලක්  වැය කරමින් එක් දින වැඩමුලු මෙන්ම දින කිහිපයක වැඩමුලුද මොවුන් විසින් පවත්වති. එම වැඩමුලු වලින් කරනුයේ ප්‍රභාකරන් විසින් මරාගෙන මැරීම සදහා කොටි සාමාජිකයින්ගේ මොළ සේදුවාට සමාන දෙයකි මෙම වැඩමුලුවලින් එලියට පැමිණෙන්නේ මුදල් ඉපයීම වෙනුවෙන් එනම් පිරමීඩයේ තම පුරුක් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ඕනෑම ආකාරයේ පහත් ක්‍රියාවක් කිරීමට පෙලඹෙන පුද්ගලයෙකි.තමාගෙන් වැයවූ මුදල උපයාගැනීම සදහා බොරු සුරංගනා ලෝකවල් මවාපාමීන් තමන්ගේ හොදම යාලුවාව  තමන්ගේ දෙමාපියන්ව නෑදෑයින්ව උනත් මෙම පිරමීඩයේ පුරුක් පිරවීම සදහා ඉතා පහත් ආකාරයෙන් යොදා ගැනීමට ඔවුන් මැලි නොවෙති.
  පිරමීඩ ජාලය පිළිබඳ වැටහීමක් ඇති අයකු වුවද අළුතින් ජාලයට සම්බන්ධ වීමේදී මහා පඹ ගාලක පැටලෙන්නේ තමන් ජාලයට සම්බන්ධ වන ස්ථානය පිළිබඳව නිසි වැටහීමක් අවබෝධයක් නොමැති වීමයි.සත්‍ය ලෙසම ජාලය නිර්මාණය කල ඉහල සිටින්නන් තමාට පහලින් සිටින්නන්ට ඔවුන් ජාලයේ සිටින ස්ථානය පිළිබඳව දැන ගැනීමට කිසි විටෙක ඉඩ නොසලසයි.සාමාජිකයකු බඳවා ගැනීම සිදුකිරීම එක් පුද්ගලයකු හරහා පමනක් සිදු වන නිසා මෙම තත්තවය ඉබේම නිර්මානයවේ.. සාමාජිකයන් රැස්වීමක් මුණ ගැසිමක් දීප වයාප්ත අයුරින් කිසිවිටෙක සිදු නොකරන අතර බොහෝ දෙනා ජාලයේ සාමාජිකයන් ලෙස හදුනන්නේ තමන් ජාලයට සම්බන්ධ කරගත් පුද්ගලයා හා තමන් විසින් භාණ්ඩ විකිණීමෙන් ජාලයට එකතු කරගත් සාමාජිකයන් දෙදෙනා පමනක්ය.ජාලයට සම්බන්ධව සිටින පිරිසකගෙන් සැලකිය යුතු පිරිසක් මෙහිදී තමාත් රැවටී ඇති බව වටහාගෙන නැති අතර තමාත් රැවටී අන්අයත් රැවටීමට තමන් දායක වන බව ඔවුන්ට ඇත්තටම හැඟී නැත.  තමන් සාධාරන සාර්ථක ව්‍යාපාරයක් කරන බවත් තමන් මෙයට අන් අයව දායක කරගැනීමෙන් අන් අයටද කරන්නේ හොඳක් මිස නරකක් නොවේ යැයි සාවද්‍ය වැටහීමක් ඔවුන් තුල ඇත.පිරමීඩ ජාලයේ ඇති අතිම භයානක තත්ත්වයද මෙයයි.පිරමීඩ ජාල කරුවන් පවත්වන මොල සේදීමේ දේශන හරහා මෙවැනි සාමාජිකයන් බිහිවන අතර දේශනයේදී දේශකයා කට වචනයට පවසන “ඔයාලා බයවෙන්න එපා අපිත් එක්ක අහවල් දේශපාලකයා, ඇමතිතුමා,පොලිස්පති තුමා ඕ.අයි.සී මහත්තයා,කලාකාරයාත් එකතු වෙලා තියෙන්නේ ඒ අයත් මේ ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබනවා“ වැනි ගල්පැලෙන බේගල් ඇත්ත ලෙස පිළිගෙන අන් අයටද පැවසිම බොහෝ විට සිදු කරන්නේ මෙම කොට්ඨාශය විසින්ය.
    කුමන ස්වරූපයෙන් පැවතියත් පිරමීඩ ව්‍යාපාරවලින්  සමාජයට නරකක් මිස හොඳක් කිසි විටෙක සිදු නොවේ.එබැවින් දැන හෝ නොදැන ඔබත් මෙවැනි පිරමීඩ ව්‍යාපාරයකට සම්බන්ධ වී ඇත්නම් වහාම ඉන් ඉවත් වන්න.ඉදිරි දින කීපය තුලදී නිතීය ක්‍රියාත්මක වීමේදී සාමාජිකයකු පමනක් වන  ඔබට සමාවක් ලැබේයැයි නොසිතන්න.මන්ද මා විසින් පෙර පැවසූ පරිදි පිරමීඩ ජාලයක සාමාජිකයා සිටින ස්ථානය රහස් පොලිසියටද එකවර වටහා ගත නොහැකි බැවිනි.ඔවුන් තමන්ට හසුවන පහලම සාමාජිකයාගේ සිටම ප්‍රශ්ණ කරමින් ජාලයට සම්බන්ධ අය කවුරුන්දැයි සොයනු නිසැකය.ඒ අනුව පිරමීඩ ජාලයේ ඉහල හෝ පහළ තට්ටුවක සිටින ඕනෑම අයකුට මේ ආත්මයේදීම හතර වෙනි තට්ටුවට යාමට හෝ ඊලඟ ආත්මයේදී අපායේ උඩම තට්ටුවට යාමට අවස්ථාව සැලසෙනු ඇත.