Thursday, November 12, 2015

බෙන්තොට මිරිස්වත්ත මහකුරුන්දවත්ත නිවාස ව්‍යාපෘතිය 2015-11-10

ඡායාරූප හා විස්තර- දර්ශන කරුණාරත්න


නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ගමකට නිවාස 25 බැගින් උදාගම් 38ක් නිර්මානය කිරීමේ වැඩසටහන යළිත් ක්‍රියාවට නැංවිණි.  ගාල්ල දිස්ත්‍රික්කයට ලැබුනු දෙවන උදාගම බෙන්තර - ඇලිපිටිය ආසනයේ බෙන්තර මිරිස්වත්ත මහකුරුන්දවත්ත  ග්‍රාමයෙන් නොවැම්බර් මස දසවනදා පෙරවරුවේ යෙදුන සුභමොහොතින් ආරම්භ විය.



ආසනයේ නිවාස නොමැති පවුල් තෝරා නිවාස හිමිකාරත්වය ලබාදීම වෙනුවෙන් එම විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ සහයෝගයෙන් කටයුතු දියත් කිරීමට මෙම ආසනයේ ඇමති ගයන්ත කරුණාතිලක මහතා පියවර ගන්නා ලදී. මෙම නිවාස ව්‍යාපෘතියේ මිරිස්වත්ත මහකුරුන්දවත්ත ඉදිවීමට  යෝජිත නිවාස 25 සදහා නිවාස ලාභීන් තෝරාගැනීමේදී 2011 සහ 2013 වර්ෂ වල පවත්වන ලද ඉඩම් කඡ්චේරි වලින් රැස්කරගත් දත්ත ඉවහල් කරගන්නා ලද අතර දේශපාලන හිතවත්කම් කිසිම ආකාරයක සුදුසුකමක් නොවුනු බව නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කළමණාකරු මහින්ද ද සිල්වා සහ බෙන්තොට ප්‍රාදේශිය ලේකම් වසන්ත විතානගේ යන මහත්වරුන් පැවසූහ. මෙම ව්‍යාපෘතියෙන් නිවාස 08ක් හිමිවීමට යෝජිත වන්නේ අඩුආදායම් ලාභී වැන්දඹු කාන්තාවන් වෙසෙන පවුල් වෙත වීම ද විශේෂත්වයකි. නිවාස වැඩසටහනේ එක් නිවසක් ඉදිකිරීම සදහා පර්චස් 10ක ඉඩම හා රුපියල් දෙලක්ෂ පනස්දාහක ණයමුදලක් එක් පවුලක්වෙත හිමිවේ. එම ණය මුදල සදහා වාර්ෂික පොළිය වන්නේ සියයට 03.72කි. මෙවන් අඩු පොළියක් යටතේ නිවාස ණයක් ජනතාවට ලැබෙන දෙවන අවස්ථාව මෙය වන අතර එහි පළමු අවස්ථාව ජනතාවට හිමිවුනේ ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වූ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආණ්ඩු සමයේ අඩුආදායම් ලාභීන් වෙත නිවාස ඉදිකළ කාල වකවානුව තුලය.