අතුරුවැල්ල පාලම හදන්නේ කවදාද?

ඉඳුරුව අතුරුවැල්ල ධර්මශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට යන ශ්‍රී සුමතිපාල මාවත හරහා වැටී ඇති පාලම 2004 සුනාමි ව්‍යසනයේ සිටම ඉතා අබලන්ව කඩා වැටීමට ආසන්න තත්ත්වයටම පත්වී ඇති අතර මෙම පාලම ප්‍රතිසංස්කරණය කරදෙන මෙන් විහාරාධිපති හිමි ඇතුළු ගම්වාසීන් අවස්ථා කීපයකදීම බලධරයන් දැනුවත් කොට ඇත.
     දැනුවත් කිරීම්, ඉල්ලීම් ආයාචනා වලින් ලැබී ඇති ප්‍රතිඵල සාර්ථක වී නැති අතර 2014 වසරේදී ගම්වැසියන් ඉඳුරුව දුම්රියපොළ අසල සිදුකල පානීය ජල ගැටළුව විරෝධතාවේදී අතුරුවැල්ල පාලම සෑදීම ප්‍රමාද වීම පිළිබඳවද විරෝධය පල කර ඇත.
     දිගු කාලයක් තිස්සේ පාලම ප්‍රතිසංස්කරණය නොකිරීම පිළිබඳව ගම්වැසියන් දැඩි කලකිරීමට හා අපේක්ෂා භංගත්වයට පත්ව ඇති අතර විහාරස්ථානයට යාමට ඇති එකම මාර්ගය මෙම පාලම හරහා බැවින් පාලම සකස් කිරීම ඉතා කඩිනමින් කල යුතු අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වී ඇත.