බෙන්තොට කුණු ප්‍රශ්නයට පිළියම් නෑ


බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සෑම සභා වාරයකදීම වාගේ එහි මන්ත්‍රීවරුන් වැඩියෙන්ම කතා කළ ප්‍රශ්නයක් වූයේ බෙන්තොට කුණු ප්‍රශ්නයයි. බලධාරීන් ලවා මේ කුණු ප්‍රශ්නය විසඳා ගැනීම බෙන්තොට ජනතාවගේ ලොකුම ප්‍රශ්නයද වී ඇත. බෙන්තොට රෝහල, ප්‍රාථමික පාසල, බැංකුව, පොලීසිය, දුම්රිය පොළ, සංචාරක හෝටල්, හා නිවාස රැසක් මධ්‍යයේ ක්‍රීඩා පිටියට වෙන් කොට ඇති බිම් කඩක ගාලු කොළඹ මහා මාර්ගයට යාබදව මෙම කුණු ගොඩ දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.
ක්‍රීඩා පිටිය සඳහා වෙන් කොට තිබූ මෙම භූමියෙහි කුණු දැමීම නිසා ක්‍රීඩකයන්ගේද මූලික අයිතිවාසිකම් ඇහිරී ඇත. මේ කුණු ගොඩට එරෙහිව මහජනතාව දැඩි විරෝධතාවන් පැවතියද තවමත් කිසිදු විසඳුමක් ලැබී නොමැත. වරක් මේ ස්ථානයේ මහජන විරෝධතා සහිත උද්ඝෝෂණයක්ද පැවැත්විණි.
පසුගිය අප්‍රේල් මාසයේදී බක් මහ උළෙල පැවැත්වීමට මේ කුණු ගොඩ පස් වලින් වසා දමා ක්‍රීඩා පිටිය මතු කර ගත්තේ ලක්ෂ ගණනක් වැය කරමිනි. එහෙත් ඒ තත්ත්වය පැවතියේ දින ගණනාවකි. බෙන්තොට ප්‍රදේශයේ කුණු වලට අමතරව අලුත්ගම නගරයේ හා ඒ අවට අයද යතුරු පැදි හා ත්‍රිරෝද රථ වලින් මෙතැනට කුණු ගෙනැවිත් දමන්නේ යැයි බොහෝ දෙනෙක් පවසති. ගාලු පාර අද්දරම කසළ පිරවූ බෑග් ගොඩ ගැසී තිබීමත්, මේ ස්ථානයට ආරක්ෂිත ගේට්ටුවක් නොමැති කමත්, නිසා එය එසේ සිදු වෙතැයි සිතිය හැකිය.ප්‍රදේශය පුරා එකතු කෙරෙන කුණු ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා ගල්තුඩුව ප්‍රදේශයේ ඉඩමක් වෙන් කෙරුණද මහජන විරෝධතා මධ්‍යයේ එයද නතර කිරීමට සිදු විය. පසුගිය සභා වාරය එජනිස සභාපති වරයකු යටතේ තිබියදී විරුද්ධ පක්ෂයේ සිටි එජාප හා ජවිපෙ මන්ත්‍රී වරුන් මේ කුණු කසළ ප්‍රශ්නය ගැන හිටපු පාලක පක්ෂයට දොස් පැවරීම නිතරම සිදු කෙරිණි.
වැසිදිනවලදී මෙම කුණුගොඩෙන් වහනය වන දුගදද අතිමහත්ය.
බෙන්තොට සංවර්ධනය කිරීම සඳහා නව රජයේ සංවර්ධන ක්‍රියාදාමයේදී මේ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙනු ඇතැයි මහජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතී. එය එසේම වනු ඇතැයි අපගේද අපේක්ෂාවයි